අද 2012 ජූලි 29
අද ඉස්කෝලෙ වාර්ෂික ආදි ශිෂ්‍ය රැස්වීම. කාලෙකට පස්සෙ ඉස්කෝලෙට යන නිසා හිතේ තිබුණෙ පුදුම නොඉවසිලිමත් ආසාවක්.
මහරගම කිට්ටු වෙද්දි මම හිමංගිට දුරකතන ඇමතුමක් ගත්ත. තරුෂි, උදාරා, සමන්ති..කට්ටියම එතනට එකතු වෙලා ඉන්න බව හිමා කිව්වා..අපූරුයි...! ඉස්සර ඉස්කෝලේ ගියා වගේමයි......!!
මම බස් නැවතුම ළං වෙද්දි, ඔළුව එළියට දාලා, කට්ටියට අත වනලා, ඔක්කොමලව බස් එකට නග්ග ගත්ත. එතන ඉඳන් ආපහු ඉස්සර දවස් ගැන කතා මළු දිග ඇරුණෙ ඉබේ ම....අපි හිටපු පන්ති කාමර, පැය ගණන් විහිළු තහලුවෙන් ගත කරපු තැන්..බස් එකේ යනකල් ම ඇස් දෙක ඉස්සරහ මැවි මැවී පෙණුන. හරියට මේ දැන් පේනව වගේ.
ඒ වුණත්....ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම ඒ දර්ශන ඔක්කොම සුන්නද්දූලි වෙලා ගියා....!!!!
අපට හුරු පුරුදු පරිසරය සහ මුලින් ම වෙනස් වෙලා. හිතේ ඇඳිල තිබුණු තැන්, අද මේ ඇස් ඉදිරිපිට දකින්න තියෙන තැන් එක්ක ගලප ගත්තෙ අමාරුවෙන්..! හිතට ඇති වුණේ බලාපොරොත්තු සුන් වුණා වගේ හැඟීමක්.......
ශාලිත අබේවික්‍රම ගයන විදියට, මේ 'කාලය මැවු වෙනසක අරුම ය' ද???
ඇත්තටම ඒක එහෙම ද?
කාලය විසින් ඇති කරල දීල තියෙන්නෙ මොකක්ද..? අතීතය.
දැන් මේ අතීතය කියන්නෙ මොකක්ද???
ඇත්තටම මේ අතීතය තියෙන්නෙ කොහෙද???
මම කල්පනා කළා..... බස් එකේ එනකොට මට මැවිල පෙණුනෙ අතීතය. හැබැයි ඒක මට විතරයි පෙණුනෙ. මං ළඟ හිටපු හිමංගිටවත් ‘මට පෙණුන අතීතය’ පෙණුනෙ නැහැනෙ... එකම සිද්ධිය වුණත් අපි දෙන්නට ඒක මතක් වුණු විදිය දෙවිදියක් වෙන්න ඕනැ නෙ. එයා දැක්කෙ, ‘එයාට පෙණුන’ අතීතය. එතකොට මම සිහිකළ අතීතයත්, එයා සිහිකළ අතීතයත් එකක්ම ද??? නැතිනම් දෙකක් ද..????
එහෙම නම්....අතීතය තියෙන්නෙ අපි එක එක්කෙනා ළඟ...අපේ සිතිවිලි වල කිව්වොත් මම වැරදි ද??
ඇති වෙලා..ඒ මොහොතෙම නැතිවෙලා ගිය සිද්ධීන් ගොඩක් අපි හිතින් බදලා අල්ලගෙන..හිතේ නැවත නැවත මවා ගැනීම නෙමෙයි ද අතීතය කියන්නෙ??
ඒ කියන්නෙ...අතීතය කියන්නෙ කොහෙවත් ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි....එහෙම නම්...ඒ 'නැති' අතීතය ට ආසා වෙලා..ඒ ගැන හිත හිතා තැවීමෙන් පලක් තියෙනවද..?
පිටකොටුව - 1920 |
ඉතින්, ඒ අතීත සිද්ධියත්, ඒ කෙනා දැකපු හීනයකත් අතර වෙනසක් නැහැනෙ. එතකොට...දැකපු හීනයකට ආසා වෙලා...ඒක හිතින් බදලා අල්ලගෙන...ඒක දැන් නැහැ කියලා අපි කවුරුත් දුක් වෙනවද..නැහැ නෙ!
ඉතින්.........හීනයකට වඩා කිසිම වෙනසක් නැති......... මැකිලා ගිය අතීතයකට ලෝබ වෙලා මොනවට දුක් වෙනවද?? බලාපොරොත්තු සුන් කර ගන්නවද..???
".....වරද නම් ගිය කල් පෙරළා බලා
තැවෙන සේ සිහියක් ඇති වීම මැයි....."
(-104 - පිය සමර - කුමාරතුංග මුනිදාස )
ලොකු හුස්මකින් පපුව සැහැල්ලු කර ගත්ත මම...තව මොහොතකින් අතීතයට එක් වෙන වාර්ෂික රැස්වීමට සහභාගි වෙන්න හිතාගෙන, අනිත් හැමෝම එක්ක ප්‍රධාන ශාලාවට ඇතුලු වුණා.
කොටුව දුම්රිය ස්ථානය වසර 150 කට පමණ පෙර |