Saturday, August 11, 2012

අතීතය සිහිනයක් පමණයි......!


අද 2012 ජූලි 29

අද ඉස්කෝලෙ වාර්ෂික ආදි ශිෂ්‍ය රැස්වීම. කාලෙකට පස්සෙ ඉස්කෝලෙට යන නිසා හිතේ තිබුණෙ පුදුම නොඉවසිලිමත් ආසාවක්. 

මහරගම කිට්ටු වෙද්දි මම හිමංගිට දුරකතන ඇමතුමක් ගත්ත. තරුෂි, උදාරා, සමන්ති..කට්ටියම එතනට එකතු වෙලා ඉන්න බව හිමා කිව්වා..අපූරුයි...! ඉස්සර ඉස්කෝලේ ගියා වගේමයි......!!
මම බස් නැවතුම ළං වෙද්දි, ඔළුව එළියට දාලා, කට්ටියට අත වනලා, ඔක්කොමලව බස් එකට නග්ග ගත්ත. එතන ඉඳන් ආපහු ඉස්සර දවස් ගැන කතා මළු දිග ඇරුණෙ ඉබේ ම....අපි හිටපු පන්ති කාමර, පැය ගණන් විහිළු තහලුවෙන් ගත කරපු තැන්..බස් එකේ යනකල් ම ඇස් දෙක ඉස්සරහ මැවි මැවී පෙණුන. හරියට මේ දැන් පේනව වගේ. 

ඒ වුණත්....ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම ඒ දර්ශන ඔක්කොම සුන්නද්දූලි වෙලා ගියා....!!!!
අපට හුරු පුරුදු පරිසරය සහ මුලින් ම වෙනස් වෙලා. හිතේ ඇඳිල තිබුණු තැන්, අද මේ ඇස් ඉදිරිපිට දකින්න තියෙන තැන් එක්ක ගලප ගත්තෙ අමාරුවෙන්..! හිතට ඇති වුණේ බලාපොරොත්තු සුන් වුණා වගේ හැඟීමක්.......


ශාලිත අබේවික්‍රම ගයන විදියට, මේ 'කාලය මැවු වෙනසක අරුම ය' ද???

ඇත්තටම ඒක එහෙම ද?

කාලය විසින් ඇති කරල දීල තියෙන්නෙ මොකක්ද..? අතීතය.  
දැන් මේ අතීතය කියන්නෙ මොකක්ද???

ඇත්තටම මේ අතීතය තියෙන්නෙ කොහෙද???

මම කල්පනා කළා..... බස් එකේ එනකොට මට මැවිල පෙණුනෙ අතීතය. හැබැයි ඒක මට විතරයි පෙණුනෙ. මං ළඟ හිටපු හිමංගිටවත් ‘මට පෙණුන අතීතය’ පෙණුනෙ නැහැනෙ... එකම සිද්ධිය වුණත් අපි දෙන්නට ඒක මතක් වුණු විදිය දෙවිදියක් වෙන්න ඕනැ නෙ. එයා දැක්කෙ, ‘එයාට පෙණුන’ අතීතය. එතකොට මම සිහිකළ අතීතයත්, එයා සිහිකළ අතීතයත් එකක්ම ද??? නැතිනම් දෙකක් ද..????

එහෙම නම්....අතීතය තියෙන්නෙ අපි එක එක්කෙනා ළඟ...අපේ සිතිවිලි වල කිව්වොත් මම වැරදි ද??

ඇති වෙලා..ඒ මොහොතෙම නැතිවෙලා ගිය සිද්ධීන් ගොඩක් අපි හිතින් බදලා අල්ලගෙන..හිතේ නැවත නැවත මවා ගැනීම නෙමෙයි ද අතීතය කියන්නෙ??


ඒ කියන්නෙ...අතීතය කියන්නෙ කොහෙවත් ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි....එහෙම නම්...ඒ 'නැති' අතීත‍ය ට ආසා වෙලා..ඒ ගැන හිත හිතා තැවීමෙන් පලක් තියෙනවද..?


පිටකොටුව - 1920

සමහර වෙලාවට..අතීතයේ සමහර සිද්ධි මතක තියෙන්නෙ අපි ටික දෙනෙකුට විතරයි...එකම සිද්ධියට මුහුණ දීපු තුන් හතර දෙනෙක් හිටියත්..ඒක අද වෙනකොට මතක එක්කෙනෙකුට විතරක් වෙන්න පුළුවන්... දෙන්නෙකුට මතක තිබුණා වුණත්, ඒ එක්කෙනෙකුගෙ මතකය අනිවාර්යයෙන්ම අනිත් කෙනාගෙ මතකයට වඩා වෙනස්....! (එයාගෙ දෘෂ්ටි කෝණයෙන් දකින සිද්ධිය, අනිත් කෙනාගෙ දෘෂ්ටි කෝණයෙන් දකින සිද්ධියට වඩා වෙනස් විය යුතුමයි කියල ඕනැම කෙනෙකුට තේරෙනවනෙ..). 

ඉතින්, ඒ අතීත සිද්ධියත්, ඒ කෙනා දැකපු හීනයකත් අතර වෙනසක් නැහැනෙ. එතකොට...දැකපු හීනයකට ආසා වෙලා...ඒක හිතින් බදලා අල්ලගෙන...ඒක දැන් නැහැ කියලා අපි කවුරුත් දුක් වෙනවද..නැහැ නෙ! 

ඉතින්.........හීනයකට වඩා කිසිම වෙනසක් නැති......... මැකිලා ගිය අතීතයකට ලෝබ වෙලා මොනවට දුක් වෙනවද?? බලාපොරොත්තු සුන් කර ගන්නවද..???

".....වරද නම් ගිය කල් පෙරළා බලා
තැවෙන සේ සිහියක් ඇති වීම මැයි....."
(-104 - පිය සමර - කුමාරතුංග මුනිදාස ) 


ලොකු හුස්මකින් පපුව සැහැල්ලු කර ගත්ත මම...තව මොහොතකින් අතීතයට එක් වෙන වාර්ෂික රැස්වීමට සහභාගි වෙන්න හිතාගෙන, අනිත් හැමෝම එක්ක ප්‍රධාන ශාලාවට ඇතුලු වුණා.


කොටුව දුම්රිය ස්ථානය වසර 150 කට පමණ පෙර

Wednesday, July 25, 2012

අදයි ඔබව කලෙකින් පසූ මා දුටූවේ...

අද 2012 ජූලි 20


අද වෑන් එකේ මල්ලි අලුත් කැසට් එකක් දාල. ජෝතිපාලගෙ. ජෝතිපාල මැරිලත් අවුරුදු විසි පහක් පහුවුණේ ගිය 07 වෙනිද නේද කියල මතක් වුණේ එතකොට. 


“…ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැඟුම් නෑ එදා මෙන් නැගෙන්නේ
සඳේ රන් කැලුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ නිල් නෙලුම් නෑ එදා මෙන් පිපෙන්නේ.....”


ජෝතිපාල ගෙ හැඟුම් බර හඬ. 


"...දිනක් නුදුටුවොත් මා...එදා ඔබ හැඬූවේ...
අදයි ඔබව කලෙකින් පසූ මා දුටූවේ..."


ජෝතිපාල මේ කියන්නෙ හැම දේකම තියෙන අනිත්‍ය බව නෙමෙයි ද??
ඉස්සර දවසක් නොදැක හිටියත් අඬන කෙනාව දැන් දකින්නෙත් කලාතුරකින්....එහෙම වුණා කියල දුකකුත් නැති බවනෙ හැඟවෙන්නෙ? ලොකු වෙනසක්.



එක අතකට මොකක්ද මේ 'දකිනවා' කියන්නෙ? 
අපි ඇත්තටම දකින්නෙ කෙනෙක් හෝ දෙයක් ද? 
එහෙම නැතිනම්, ඒ කෙනා හෝ වස්තුව මතට වැටෙන ආලෝක කිරණ පරාවර්තනය වෙලා ඇවිත් අපේ ඇහේ දෘෂ්ටි විතානය මත හැදෙන ප්‍රතිබිම්බ නෙමෙයි ද අපි ඇත්තටම දකින්නෙ?? 


එතකොට, ඒ ක්‍රියාවලිය සිද්ද වෙලා, ඒ ප්‍රතිබිම්බය අපේ මනසින් අපි හඳුනා ගන්නා අවස්ථාව වෙනකොට, අදාළ කෙනා හෝ වස්තුව, නිරන්තර වෙනස්වීමේ සිද්ධාන්තය මත වෙනස් වෙලා ඉවරයි. එතකොට...අපි යම් යම් හැඟීම් පහළ කර ගන්නෙ, ආශා සහගත හැඟීම් හෝ වේදනා සහගත හැඟීම්...එහෙමත් නැතිනම් පිළිකුල් සහගත හෝ ද්වේශ සහගත හැඟීම් පහළ කර ගන්නෙ....ඇත්තටම අපේ මේ මනස තුළ ඇති වෙන ප්‍රතිබිම්බ ගැන මිසක්, සත්‍ය වශයෙන් ඉන්න පුද්ගලයා හෝ පවතින වස්තුව ගැන නෙමෙයි..නේ?

එතකොට ..ඔක්කොම සිද්ධ වෙන්නෙ අපේ මේ හිත ඇතුළෙ පමණයි...අපට කිසිම දාක කිසිම කෙනෙක් හෝ දෙයක් දකින්න බෑ ඒ කෙනාගේ හෝ ඒ වස්තුවේ ප්‍රතිබිම්බය මිසක!! ඉතින්...එහෙම නම්.. අපි පහළ කර ගන්න හැඟීම් ඇති වෙන්නෙත් ඒ ප්‍රතිබිම්බ ගැන ම තමයි...!


මුහුණ බලන කණ්නාඩියක් ජීවිතේට දැකලා නැති ගැමියෙකුට කණ්නාඩියක් හම්බු වෙලා, ලොකු අලකලංචියක් සිද්ද වෙන නාට්‍යයක් කාලෙකට කලින් රූපවාහිනියෙන් දැක්ක..නම 'සක්කාය දිට්ඨි'. කණ්නාඩියෙ ඉන්නෙ තමන්ය කියල නොහඳුනන නිසා වෙන අවුල් ගොඩක් තමයි ඒකෙ නිරූපණය වෙන්නෙ. විශේෂයෙන් ම ඔහුගෙ බිරිඳ..කණ්නාඩියෙන් පෙනෙන්නෙ සැමියගෙ අනියම් පෙම්වතියක් කියල හිතාගෙන..නොයෙක් ආවේග පහළ කර ගන්නව. ඒ රූපෙට බණිනව..දොස් දකිනව..නමුත් ඇත්තෙන්ම වෙන්නෙ..ඒ සියල්ල සිද්ද කර ගන්නෙ තමන්ටමයි! බණින්නෙ, ඇද කුද දකින්නෙ..තමන්ගෙමයි..! 


ඉතින්...අපේ මනසෙ ඇඳෙන ප්‍රතිබිම්බ ගැන අපි පහළ කර ගන්න හැඟීමුත් හරියට මේ වගේමයි නේද??

දේවල් දැකීම නිසා අපිට ඇති වෙන ආවේග...සතුටු සහගත...ද්වේශ සහගත...පිළිකුල් සහගත...වේදනා සහගත..මේ කොයි එකත් ඇති වෙන්නෙ මෙහෙමයි නේද එතකොට??


එහෙම නම්...දකින, නොදකින දේවල් ගැන, තැවීම....දැවීම...සතුටු වීම....ආසා වීම...කිසිම තේරුමක් නැති දෙයක්!


එතකොට...ජෝතිපාලගෙ සින්දුවෙ පෙම්වතී අපරාදෙ ඉස්සර පෙම්වතා නුදුටු දවස්වල අඬල තියෙන්නෙ..!


එහෙම හිතෙනකොට ඇතිවුණු හීන් හිනාවත් එක්ක මම වෑන් එකෙන් බැස්සෙ. වෑන් මල්ලි ඒක 'දැකල' අමුතු විදියට මා දිහා බලනව මම 'දැක්ක'. 
එයත් මනසෙ ඇඳුණු 'ප්‍රතිබිම්බය'ට රැවටෙන්න ඇති!











Thursday, July 19, 2012

හිතට දැනෙන මේ ළතැවුල්....?

මම කිසා ගෝතමී...කවුරුත් මට ආදරේට කියන්නෙ 'කිසා' කියල.


මම ගැන ටිකක් කිව්වොත්, පොඩි දේකින් හිත රිදව ගන්න, ඒ වගේම පොඩි දේකින් සතුටට පත් වෙන කෙනෙක්..ඒක මගෙ දුර්වලකම කියල ගොඩක් වෙලාවට හිතෙනව....ඉතින් මම ලඟකදි ඉඳල උත්සාහ ගන්නෙ ඒකෙන් ගොඩ එන්න.


මගෙ වෑයම දැන් දැන් සාර්ථක වේගන එන බව මටම තේරිලා තියෙනව...ඒකට හේතුව මම දේවල් දිහා බලන විදිය වෙනස් කළ එක බවයි මගෙ වැටහීම. ඉතින්, මම ඒ සියල්ල මගේ මේ දින පොතේ බෙදා ගන්න අදහස් කරනව....ඕනැම කෙනෙකුට පුළුවනි ඒවා අත් හදා බලන්න....සමහර වෙලාවල මම වැරදි වෙන්නත් පුළුවනි...ඒ වැරදි පෙන්නල දෙන්න පුළුවන් නම් ගොඩක් ස්තුතිවන්ත වෙනව.


මගෙ මේ අන්තර්ජාල දිනපොතේ ලියන්න තරම් අලුතෙන් දෙයක් අද සිද්ද වුණේ නෑ...ඒ නිසා පෙරේදා මගේ කඩදාසි දිනපොතේ ලියපු දේ මේකේ පළවෙනි සටහන හැටියට ඇතුළත් කරන්නම්....!
............................................................................................................
අද 2012 ජූලි 17


ගෙදර ඇවිත් මූණ කට හෝදගත්තට පස්සෙ.....ප්ලේන්ටියකුත් හදාගෙන, වෙල අයිනට වෙන්න තියෙන උණ පඳුර යට බංකුවට ගිහින් ඉඳගත්තෙ ඇඟට දැනෙන කෙඩෙත්තු ගතිය මග ඇරෙයි කියල හිතාගෙන.....
ප්ලේන්ටිය උගුරෙන් උගුර පහළට යද්දි....ඇඟට දැණුනු මහන්සි ගතිය ටිකක් අඩුවෙලා ගියත් හිතේ තැලිච්ච පොඩිවෙච්ච ගතිය නම් එහෙමමයි....!


අද දවල් මගෙ ළඟින්ම ඉන්න කෙනෙකුත් මමත් අතර වුනු සිද්දිය මතකෙට ආවෙ නිරායාසයෙන්...(මතකෙට ආව කියන්නත් බෑ...මොකද 'මතකෙට' එන්නෙ 'අමතක වෙච්ච' දේවල් නම් නෙ...!)


...ඒ වචන තාමත් හිත ඇතුළෙ දෝංකාර දෙන්නෙ හිත ඔද්දල් කරමින්.... එයා ඒ විදියට කතා කරයි කියල මම කවදාවත් හිතුවෙ නෑ....
ඒ ඔක්කොම මගේ වැරැද්ද ද?..
මොන තරම් උත්සාහ කත් හිත් වේදනාව අඩු කර ගන්න අමාරුයි...තියුණු පිහියකින් පපුව හාරනව වගේ......


ඇයි අපට මෙහෙම වෙන්නෙ?
කවුරු හරි කියන දෙයකින් අපට මේ තරම් හිත් වේදනා ඇති වෙන්නෙ ඇයි?
මේ හිත් වේදනා වලින් ඈත් වෙන්න අපට ක්‍රමයක් නැද්ද...??


මම ටිකක් සන්සුන්ව හිතන්න උත්සාහ කළා.


දැන් මොකක්ද සිද්ද වුණේ?.... එයා කියපු වචන වලින් මගේ හිත රිදීම.....!!
ඒක ටිකක් විග්‍රහ කළොත්......එයා කියපු වචන..ශබ්ද හැටියට ඇවිත්.... මගේ කණ ඇතුළට ගිහින් ස්නායු කම්පනයක් හේතුකොට ගෙන හැදුණු "ශබ්ද ප්‍රතිබිම්බයක්" මොළය විසින් හඳුනාගත්තා.........


එතකොට.....'ඒ වචන' කියල මම තේරුම් ගත්තෙ මගෙම ඇතුළෙ නිපදවුණු දේවල් ගොඩක් නෙ???
ඊට පස්සෙ... ඒ තේරුම් ගත්ත දේවල් 'අමිහිරි දේ' හැටියට වැටහීමක් මා විසින්ම ඇති කර ගත්තා.......එහෙම වුණෙත්, ඒ වචනත් කියාපු ස්වරයත් 'අමිහිරි' බවට අතීත දැනීමක් මට තිබුණු නිසා...(සිංහල බාසාව නොදන්න, පිට සක්වළ ජීවියෙක් ජීවිතේ පළවෙනි වතාවට ඒවා ඇහුව නම් එයාට මේ හිත් රිදිල්ල ඇතිවෙන එකක් නෑනෙ?)
කොහොමින් හරි, මට ඒ වැටහීම වෙනකොට, එයා ඒ වචන පිට කරල, ඒවා හිස් අවකාශයට එකතු වෙලා ඉවරයි......!(ඕනෑම ශබ්දයක් පවතින්නෙ ඒ ශබ්දය නිකුත් වන ක්ෂණයෙ විතරක් නිසා).  
එතකොට මම විඳෙව්වෙ, ඒ වෙනකොටත් අහෝසි වෙලා ගිය දේවල් ගොඩක්, මගේම හිත තුළ ද්විතීයිකව නිපදවා ගැනීමෙන්!? අයියෝ...මොන මෝඩකමක් ද!!! ඒ 'ද්විතීයික නිෂ්පාදනයට' ඉඩක් තිබ්බෙ නැත්නම්, මේ ළතැවිල්ලෙන් ගත කරපු පැය ගණනම සැහැල්ලුවෙන් ඉන්න තිබුණා...!
එහෙම හිතෙනවත් එක්කම, හිතේ ඇදුම් කකා තිබුණු වේදනාව....හිරු දුටු පිනි වගේ.....කොහේ ගියාද කියල හොයාගන්න බැරිව ගියා...!


තේ කෝප්පෙ මණ්ඩි ටික විසි කරල බංකුවෙන් නැගිටල ගෙට ආවෙ කුරුළු පිහාටුවක් වගේ සැහැල්ලු වුණු හිතකුත් එක්ක.