Thursday, June 13, 2013

මගෙන් රිදවුම් දෙවුණු මොහොතක.........

බොහොම කාලෙකින් මේ පැත්තෙ ආවෙ. අලුතෙන් යමක් ලියන්න තරම් විවේකයක් මේ දවස් වල නැහැ. ඒ නිසා අදත් පරණ දිනපොත් පිටුවක පිහිට තමා.

අද 2011 ජූනි 15


අද මට හරිම කනගාටුදායක දවසක්. හේතුව, මම නොහිතා කරපු දෙයකින් මගේ ළඟින්ම ඉන්න කෙනෙකුගේ හිත තදින් රිදීම.

ඇයි එහෙම වුණේ කියලා තේරුම් ගන්න මම බොහොම උත්සාහ කළා. වුණේ මොකක්ද කියලා පැහැදිලි කරන්න මොන තරම් උත්සාහ කළත් මට ඒක කරගන්න බැරිව ගියා. 

එයත් උත්සාහ කළා එයාගෙ හිත රිදුණෙ ඇයි කියල මට පැහැදිලි කරන්න. ගොඩක් වචන එහාට මෙහාට වුණා. අවසානෙදි මම තේරුම් ගත්තා කියල මම විශ්වාස කරනවා. ඒත් එයාට ඇතිවුණු හිත් වේදනාව සියයට සියයක් මට තේරුණා කියල හිතන්න අමාරුයි නෙ?

ඉතින් ඇයි එහෙම වෙන්නෙ?

අපට ඇත්තටම පුළුවන්ද තවත් කෙනෙකුගෙ හිතිවිලි පරම්පරාව පිරිසිඳ දකින්න?

පරචිත්ත විජානන ඥානය ලබපු කෙනෙකුට ඇර සාමාන්‍ය අයට එහෙම අන් අයගෙ සිත් කියවීම අමාරුයි.  


අන් අයගෙ සිත් කියවීම පැත්තකින් තියමු. අපිට පුළුවන් ද අපේම හිත් කියවන්න? ඊළඟ මොහොතෙ මගේ හිතට මොන සිතිවිලි පහළ වෙයි ද කියන්න මට දැන් පුළුවන් ද? මට නම් හිතෙන්නෙ බැහැ කියලයි. 

ඒ වෙනුවට කරන්න පුළුවන් එක දෙයයි. ඒ තමයි, තමන්ගෙ සිතිවිලි පරම්පරාව නිරීක්ෂණය කිරීම. ඒවා පහළ වෙන පහළ වෙන අන්දමට නිරීක්ෂණය කරන්න ඕන. ඒ සිතිවිලි මොනවාදැයි හඳුනා ගන්න ඕන. ලෝබ සිතිවිල්ලක්, ද්වේශ සිතිවිල්ලක්, මෝඩ සිතිවිල්ලක් හැටියට ඒවා හඳුනා ගන්න පුළුවන් වේවි ටික කලක් පුහුණු කළොත්.  ලෝබ සිතිවිල්ලක් කිව්වම වරදවා වටහා ගන්න ඕන නැහැ. ආදරය, සෙනෙහස, ආශාව, තණ්හාව, රාගය, කැමැත්ත..මේ කොයිවත් ලෝබ සිතිවිලි තමා. එතකොට පිළිකුළ, වෛරය, තරහ, කළකිරීම, කේන්තිය, කෝපය, අප්පිරියාව, දුක, වේදනාව..මේ කොයිවත් ද්වේශ සිතිවිලි. වැරදි අවබෝධය, අවිද්‍යා සහගත බව, නියම දේ නියම ආකාරයෙන් නොදැකීම මෝඩකමයි. අපි අතින් වැඩියෙන්ම සිද්ධ වෙන්නෙත් ඒකමයි මට නම් හිතෙන විදියට.
 

ඉතින් මේ ලෝබ, ද්වේශ, මෝහ සිතිවිලි වලින් ඈත් වීමට කලින් ඒවා හඳුනා ගැනීම වැදගත් නෙ. තමා ඉන්නේ, වැරදි මග බව නොදන්නාටත්, හරි මග බව නොදන්නාටත් වඩා වැරදි මග බව දන්නාත්, හරි මග බව දන්නාත් වඩා ඥානවන්ත නිසා. හරි මග යන්න පටන් ගන්න කලින්, ඉන්නෙ වැරදි මගේ බව තේරුම් ගන්න එපැයි. 

තමන්ගෙ හිතට එන හැම සිතිවිල්ලක් ම මෙහෙම හඳුනා ගන්න යනකොට, ඒවා නම් කරන්න යනකොට, යහපත් සිහිය ඇති වෙන්නෙ ඉබේමයි. හැම සිතිවිල්ලක්ම සිහිකල්පනාවෙන් කරන නිසා. හැම ක්‍රියාවකටම මුල් වෙන්නෙත් සිතිවිල්ලක් නෙ. සිහිය වැඩෙනකොට හිත සමාධි ගත කර ගන්න ලේසියි. මනා සිහියෙන් ඉන්නකොට දේවල් වැටහෙනවා වැඩියි. වැරදි අවබෝධයන් අඩු වෙනවා. අත් වැරදීම්, අතපසුවීම් අවම වෙනවා. පසුතැවිල්ලට ඉඩක් නැති වෙනවා මේ නිසා. 
මොන තරම් සැහැල්ලුවක් ද..!

කොහොම හරි, අද සිද්ධ වුණු දෙයින් පැහැදිලි වුණේ තමන්ගෙ හිතට කොයි තරම් ළඟ කෙනෙකුට වුණත් තමන්ගෙ හිතිවිලි පරම්පරාව තේරෙන්නෙ නැහැ නේද, ඒ වගෙම තමන්ටත් ඒ කෙනාගෙ හිතිවිලි පරම්පරාව තේරෙන්නෙ නැහැ නේද කියන එක. කෙනෙක්, තවත් කෙනෙකුට කිසිම දාක අයිති නැහැ කියන්න මීට වඩා උදාහරණ ඕන නැහැ. 

තමන්ට තමන් වත් අයිති නැතිකොට, අනිත් අය ගැන කවර කතා ද, නේද?







Monday, March 11, 2013

සිහින හතක් දුටුවෙමි මම.....

අද 2013 මාර්තු 10 

අද මිතුරන් දෙදෙනෙක් ඒ අයගේ හීන ගැන කතා කළා. එක් මිතුරෙක් කියලා තිබුණා හීන (හැබෑ කර ගැනීම ) ඒ තරම් ලේසි නෑ කියල...අනිත් එක්කෙනා කිව්වා හීන බිඳ වැටුණම හිතට හරි අමාරුයි කියල...

මමත් කල්පනා කළා...
ඇයි අපි හීන දකින්නෙ? මොනවද මේ හීන කියන්නෙ?

හීන සරල අර්ථයෙන් ගත්තොත් හිතේ ඇතිවන සිතිවිලි කියල කියන්න පුළුවන්...බොහෝ වෙලාවට ඒවා බලාපොරොත්තු සහගත සිතිවිලි...හීන දකිනවා කියන්නෙ හිතේ ඇතිවන මේ සිතිවිලි ඉෂ්ට කරගන්න හැටි හිතෙන්ම දකින එකටයි කියලත් කියන්න පුළුවන්. එතකොට ඒ 'හීන' බොහොම සුන්දරයි...

කල්පනා කරල බැලුවම, කොයි දේත් හීන තමයි..අපි අතීත මතක ආවර්ජනය කරනවා කියල හිතමු. පරිස්සමින් හිතල බලන්න...



සරල උදාහරණයක් ගනිමු...අපි හිතමු ඊයේ අපි සමන් පිච්ච මලක් අතට අරන් ඒ මලේ සුවඳ බැලුවා කියල....ඔන්න දැන් අපට ඒ මල හිතෙන් පෙනෙනවා...සුවඳත් දැනෙනවා වගේ...නමුත් ඇත්තටම හිතල බැලුවොත් එහෙම මලක් මේ මොහොතෙ නෑ...ඒ මල පරවෙලාත් ගිහින්...තනිකරම හිතේ තියෙන්නෙ හිතේ ඇතිවුනු හිතිවිලි ගොඩක් විතරමයි.....අපේ අනිත් අතීත මතකයනුත් ඒ වගේමයි...සිද්ධ වුණු නොයෙක් සිද්ධීන් අපි 'මතක්' කරනවා...ඒත් අපි ඒ ගැන හිතන දැන් මේ මොහොතෙ ඒවා සිද්ධ වෙන්නෙ නෑනෙ? සිද්ධ වෙන්නෙ හිත තුළ අලුතෙන් සිතිවිලි පරම්පරාවක් ඉපදිලා මිය යාම. එකම දේ, ඒ හිතේ ඇති වෙලා නැතිවෙන (මතකයන් කියලා අපි හඳුන්වන) සිතිවිලි හෙවත් 'හීන', අපට හුරු පුරුදුයි.
නමුත් ඒ ඔක්කොම, අපේ හිතේ අලුතින්ම ඇති වෙන ඒවා මිසක් පරණ දේ  නොවන බව දකින්න තරම් අපේ නුවණ දියුණු කර ගන්න ඕන...

ඉතින් වඩාත් සුලබ, අනාගත හීන ගැන පොඩ්ඩක් හිතුවොත්....


හැමෝම මේ අනාගත වර්ගයේ හීන දකිනවා...දැකල තියෙනවා....ඇත්තටම මොකක්ද අපි ඒ කරන්නෙ? 

හිතේ (මනායතනයේ) සිතිවිල්ලක් උපදිනවා....ඒක ක්ෂණයකින් ඉවරයි...ඒත් ඒ සිතිවිල්ල නිරෝධ වෙනවත් එක්කම ඒකට ඈඳුණු තවත් සිතිවිල්ලක් උපදිනවා..ඔහොම සිතිවිලි පරම්පරාවක් ඇති වෙනවා...ඉතින් ඔය සිතිවිලි පරම්පරාව ඇති වෙන්නෙ ඕනෙම දෙයක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්....අපි කරන්න කැමති දෙයක්...යන්න කැමති තැනක්...දකින්න කැමති යමක් හෝ කෙනෙක්...ලබා ගන්න කැමති දෙයක්..හෝ කෙනෙක්...සිද්ධ වෙනවට කැමති දෙයක්....ඔය ඕනම දෙයක් ගැන සිතිවිලි පරම්පරාවක් ඇති කර ගන්න පුළුවන්...නමුත් ඒවා ඒ හැටියෙන්ම සිද්ධ වෙන්න පුළුවන්ද?  අපේ හිතේ ඇති වුණු දෙයක් සියේට සීයකින් සමානව ඇත්ත වශයෙන් සිද්ධ වෙන්නෙ නෑනෙ....හිතේ ඇති වුණු සිතිවිලි පරම්පරාවට බාහිර බලපෑම් නෑ...ඒත් ඒක හැබෑ ලෝකෙදි සැබෑ කරගන්න යනකොට නොයෙකුත් බාහිර සාධක බලපානව...එතකොට අපි අර දැකපු 'හීන' වෙනස් වෙන්න පටන් ගන්නව...අපි හිතෙන් දැකපු දේට වඩා ඇත්ත සිද්ධිය බොහෝ වෙනස් වෙන්න මේ නිසා පුළුවන්...ඉතින් ඒ වෙනස් වීම අපට දරා ගන්න අමාරු වෙනව....මොකද, අපි හිතන්නෙ අපේ 'සිතිවිලි පරම්පරාව' ඔස්සේ. ඉතින් සිත් වේදනා...කළකිරීම්..! 
තේරුමක් තියෙනවද? මුළාවක් නේද? 

මේ ටික තේරුම් ගන්න අසමත් වීම නිසා අපි කී දෙනෙක් කිසිම තේරුමක් නැතිව හිතෙන් වධ වේදනා විඳිනවද???

කොහොම වුණත් තවත් කාරණයක් තියෙනව... 
අපට දෙයක් නැති වුණාම....හීනයක් බිඳුනම.....අපට හිතෙන්නෙ අපට නැතිවුණු ලොකුම දේ ඒක තමයි කියල...ඒත් කාලයක් ගියාම, ඒක එහෙම වුණ එක හොඳයි කියලත් සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන්...!  ඒ විතරක් නෙමෙයි..ඊට පස්සෙ වෙනත් දෙයක් එතනට ආදේශ වෙනව...එතකොට ඒ මොහොතෙ ඉඳන් ඒක තමයි ලොකුම දේ....
ඔය චක්‍රය බිඳගන්න එක තමා අපේ කාර්යය විය යුත්තෙ.




Saturday, March 2, 2013

මනෝ මන්දීරේ.....

අද 2013 පෙබරවාරි 28

සෑහෙන කාලෙකින් දිනපොත ලියන්න බැරිවුණා. ලියන්න දේවල් බොහොමයක් තිබුණත් එක එක දේවල් නිසා ලියන එක දවසින් දවස කල් ගියා.
අද නම් ලියන්නම ඕන කියලා හිතුණෙ ඊයෙ පෙරේදා දකින්න ලැබුණු විස්තරයකුත්, මිතුරෙක් මූණුපොතේ දාලා තිබුණු ප්‍රකාශයකුත් හින්දයි.

ඒ දෙකෙන්ම කියවුණේ එක් එක් පුද්ගලයන් නොයෙක් දේවලට දක්වන ප්‍රතිචාර ගැනයි.
තමන්ගෙ ප්‍රේමයට ලක්වුණු ගෑනු ළමයා ඒ ප්‍රේමය ප්‍රතික්ෂේප කළ නිසා පිහියෙන් ඇන ඇයව මරා දැමූ තරුණයෙක් ගැන මුලින් කී විස්තරයෙන් කියවුණා. අපි හැමෝම එක එක දේවල් සහ එක එක පුද්ගලයන්ව විනිශ්චය කරන එකත්, ඒවාට දක්වන ප්‍රතිචාර ගැනත් අදහසක් මිතුරාගේ ප්‍රකාශයේ තිබුණා.

මම නම් හිතන්නේ එක එක පුද්ගලයන්ව විතරක් නෙමෙයි, සෑම දෙයක්ම අපි අපේ විනිශ්චයට භාජනය කරනවා. ඉන් පස්සේ ඇති කර ගන්නා උපකල්පන මත ඒවාට ප්‍රතිචාර දක්වනවා. මේ ප්‍රතිචාර දක්වන ආකාරය අනුව අද නොයෙක් ගැටලු ඇතිවෙලා තියෙන හැටිත් ඇස් පනා පිට පේන්න තියෙනවා.

එක උදාහරණයක් තමයි අද බහුලව කතා බහට ලක්වෙලා තියෙන, කොටි සංවිධානයේ නායකයාගේ බාල පුතාගේ මරණය. ඒ දරුවාව මැරුවද, එහෙනම් ඒ මැරුවෙ කවුද, කොහොමද කියන එක ගැන මම කතා කරන්නෙ නෑ...මොකද මම ඒ ගැන දන්නෙ නැති නිසා.  ඒත් ඒ ගැන ඇතිවුණු නොයෙක් කතා බහ නම් හිතේ ඇති කළේ තරමක විපිළිසරයක්. 'ත්‍රස්තවාදියාගේ පුතා ලොකු වෙලා ආවම තාත්තා ගේ පළිය ගන්නවාමයි, ඒ නිසා එයාට එහෙම කළාට කමක් නැහැ' කියන එක බහුලව ප්‍රකාශ වෙලා තියෙනවා දැක්කා.

දැන් මේ උදවිය මෙහෙම කියන්නෙ ඒ දරුවා එක්ක කතාබහ කරල, ඒ දරුවාගේ සිතුම් පැතුම් හොඳින් දැනගෙනද? කවුද දන්නෙ ඒ දරුවා තමන්ගෙ පියාගේ ක්‍රියාවන් පිළිකුල් කළාද, ඒවා හෙළා දැක්කද කියලා? පියාට විරුද්ධව යන දරුවො මොන තරම් ඉන්නවද අද ලෝකෙ? මිනීමරු සිංහයව (එහෙම නැතිනම් 'සිංහ' නම් වූ දාමරිකයාව) මැරුවෙ කවුරුවත් නෙවෙයි, ඔහුගෙම පුතා සිංහබාහු කියලනෙ අපි ඉගෙන ගෙන තියෙන්නෙ.  කොහොමහරි, මේ සේරම ප්‍රතිචාර වලට හේතුව, අපේ මනායතනයෙ ඇතිවෙන අපේම සිතිවිලි (උදා: දරුවා අනාගතයෙ දරුණු ත්‍රස්තවාදියෙක් වෙනවා..), ඇත්ත වශයෙන්ම පවතිනවා කියල අපි වැරදි වැටහීමක් ඇති කරගත්ත නිසා නේද?


ඒ වගෙම, එහෙම කියන උදවිය එක්ක වාද බේද වලට පැටලිලා...තමන්ගෙ හිත රිදව ගත්ත අයත් මම දැක්කා. ඒකත් තේරුමක් නැති වැඩක් නෙ. වාද බේද කියන්නෙ ගැටීමක් ඇති කර ගැනීම. මේ ඉහතින් කියපු සිද්ධිය විතරක් නෙවෙයි, අද වෙනවිට හැම තැනම ජාතිවාදී, ආගම්වාදී කතාබහ...ලැව් ගින්නක් වගේ මේවා පැතිරෙන්නෙ. ඉතිං, හිත නරක්වෙන ජාතිවාදී, ආගම්වාදී කතා මැදට පැනල, හිත දූෂ්‍ය කරගන්නවට වඩා හොඳම දේ තමයි එවැනි දේ වලින් ඈත් වීම. තමා විශ්වාස කරන හොඳ දෙයක් වෙනුවෙන් වුණත් වාද කරන්න යන එකෙන් වැඩිවෙන්නෙ ද්වේශය...ව්‍යාපාදය. තණ්හාව වගෙම ව්‍යාපාදයත් අත හැරිය යුතුමයි නෙ.

අනිත් කාරණේ, මේ සියලුම තර්ක විතර්ක අපේ මනායතනයෙ ඇතිවන දේවල් මිසක සැබැවින් පවතින දේ නෙවෙයි..ඕනෑම සිතක් පවතින්නෙ චිත්තක්ෂණ දහහතයි. ඒ හැම සිතක්ම උත්පාද තිථි භංග කියන අවස්ථා තුනට පත්වෙලා ක්ෂය වෙනවා...නිරුද්ධ වෙනවා... ඉතිං මේ උදවිය කරන්නෙ, එහෙම අතීතයේ හටගෙන, අතීතයේදිම ක්ෂය වෙලා ගිය....නිරුද්ධ වුණු..., තව දුරටත් නොපවතින, දෙයක් අල්ලාගෙන ගැටුමට යනවා...එහෙම ගිහින් සංසාරය දික්වෙන විදියට කර්ම රැස්කර ගන්නවා. 

මොන තරම් මායාවකද අපි පැටලිලා ඉන්නෙ..ඒ මායාව දැන හැඳින ගෙන එයින් මිදෙනවා වෙනුවට අපි කරන්නෙ ඒ මායාවේ තව තවත් ගිලෙන එක. 


හොඳින් හිතුවොත්, අපිට පැහැදිලි වෙනව, අතීතයේ හටගත් දේ, අතීතයේම නිරුද්ධ වෙනව...ඊට පස්සෙ තියෙන්නෙ හිතෙන් හදාගත්ත දෙයක්..තරහ, ගැටීම, ඇලීම..මේ කොයි දේත් එහෙමයි...ඉතින් හිතෙන් හදාගත්ත, ඒ වුණත් සැබැවින් නොපවතින දේ දුකක් නෙමෙයි ද??

ඉතින් අපට ඒ නිසා කරන්න තියෙන්නෙ වෙන මොනවත් නෙමෙයි...දුක දුක හැටියට දැකල, එහි නොඇලී සිටීමෙන්, දුකත් නිරුද්ධ කරගැනීමයි. 

එහෙම නේද?

Saturday, August 11, 2012

අතීතය සිහිනයක් පමණයි......!


අද 2012 ජූලි 29

අද ඉස්කෝලෙ වාර්ෂික ආදි ශිෂ්‍ය රැස්වීම. කාලෙකට පස්සෙ ඉස්කෝලෙට යන නිසා හිතේ තිබුණෙ පුදුම නොඉවසිලිමත් ආසාවක්. 

මහරගම කිට්ටු වෙද්දි මම හිමංගිට දුරකතන ඇමතුමක් ගත්ත. තරුෂි, උදාරා, සමන්ති..කට්ටියම එතනට එකතු වෙලා ඉන්න බව හිමා කිව්වා..අපූරුයි...! ඉස්සර ඉස්කෝලේ ගියා වගේමයි......!!
මම බස් නැවතුම ළං වෙද්දි, ඔළුව එළියට දාලා, කට්ටියට අත වනලා, ඔක්කොමලව බස් එකට නග්ග ගත්ත. එතන ඉඳන් ආපහු ඉස්සර දවස් ගැන කතා මළු දිග ඇරුණෙ ඉබේ ම....අපි හිටපු පන්ති කාමර, පැය ගණන් විහිළු තහලුවෙන් ගත කරපු තැන්..බස් එකේ යනකල් ම ඇස් දෙක ඉස්සරහ මැවි මැවී පෙණුන. හරියට මේ දැන් පේනව වගේ. 

ඒ වුණත්....ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම ඒ දර්ශන ඔක්කොම සුන්නද්දූලි වෙලා ගියා....!!!!
අපට හුරු පුරුදු පරිසරය සහ මුලින් ම වෙනස් වෙලා. හිතේ ඇඳිල තිබුණු තැන්, අද මේ ඇස් ඉදිරිපිට දකින්න තියෙන තැන් එක්ක ගලප ගත්තෙ අමාරුවෙන්..! හිතට ඇති වුණේ බලාපොරොත්තු සුන් වුණා වගේ හැඟීමක්.......


ශාලිත අබේවික්‍රම ගයන විදියට, මේ 'කාලය මැවු වෙනසක අරුම ය' ද???

ඇත්තටම ඒක එහෙම ද?

කාලය විසින් ඇති කරල දීල තියෙන්නෙ මොකක්ද..? අතීතය.  
දැන් මේ අතීතය කියන්නෙ මොකක්ද???

ඇත්තටම මේ අතීතය තියෙන්නෙ කොහෙද???

මම කල්පනා කළා..... බස් එකේ එනකොට මට මැවිල පෙණුනෙ අතීතය. හැබැයි ඒක මට විතරයි පෙණුනෙ. මං ළඟ හිටපු හිමංගිටවත් ‘මට පෙණුන අතීතය’ පෙණුනෙ නැහැනෙ... එකම සිද්ධිය වුණත් අපි දෙන්නට ඒක මතක් වුණු විදිය දෙවිදියක් වෙන්න ඕනැ නෙ. එයා දැක්කෙ, ‘එයාට පෙණුන’ අතීතය. එතකොට මම සිහිකළ අතීතයත්, එයා සිහිකළ අතීතයත් එකක්ම ද??? නැතිනම් දෙකක් ද..????

එහෙම නම්....අතීතය තියෙන්නෙ අපි එක එක්කෙනා ළඟ...අපේ සිතිවිලි වල කිව්වොත් මම වැරදි ද??

ඇති වෙලා..ඒ මොහොතෙම නැතිවෙලා ගිය සිද්ධීන් ගොඩක් අපි හිතින් බදලා අල්ලගෙන..හිතේ නැවත නැවත මවා ගැනීම නෙමෙයි ද අතීතය කියන්නෙ??


ඒ කියන්නෙ...අතීතය කියන්නෙ කොහෙවත් ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි....එහෙම නම්...ඒ 'නැති' අතීත‍ය ට ආසා වෙලා..ඒ ගැන හිත හිතා තැවීමෙන් පලක් තියෙනවද..?


පිටකොටුව - 1920

සමහර වෙලාවට..අතීතයේ සමහර සිද්ධි මතක තියෙන්නෙ අපි ටික දෙනෙකුට විතරයි...එකම සිද්ධියට මුහුණ දීපු තුන් හතර දෙනෙක් හිටියත්..ඒක අද වෙනකොට මතක එක්කෙනෙකුට විතරක් වෙන්න පුළුවන්... දෙන්නෙකුට මතක තිබුණා වුණත්, ඒ එක්කෙනෙකුගෙ මතකය අනිවාර්යයෙන්ම අනිත් කෙනාගෙ මතකයට වඩා වෙනස්....! (එයාගෙ දෘෂ්ටි කෝණයෙන් දකින සිද්ධිය, අනිත් කෙනාගෙ දෘෂ්ටි කෝණයෙන් දකින සිද්ධියට වඩා වෙනස් විය යුතුමයි කියල ඕනැම කෙනෙකුට තේරෙනවනෙ..). 

ඉතින්, ඒ අතීත සිද්ධියත්, ඒ කෙනා දැකපු හීනයකත් අතර වෙනසක් නැහැනෙ. එතකොට...දැකපු හීනයකට ආසා වෙලා...ඒක හිතින් බදලා අල්ලගෙන...ඒක දැන් නැහැ කියලා අපි කවුරුත් දුක් වෙනවද..නැහැ නෙ! 

ඉතින්.........හීනයකට වඩා කිසිම වෙනසක් නැති......... මැකිලා ගිය අතීතයකට ලෝබ වෙලා මොනවට දුක් වෙනවද?? බලාපොරොත්තු සුන් කර ගන්නවද..???

".....වරද නම් ගිය කල් පෙරළා බලා
තැවෙන සේ සිහියක් ඇති වීම මැයි....."
(-104 - පිය සමර - කුමාරතුංග මුනිදාස ) 


ලොකු හුස්මකින් පපුව සැහැල්ලු කර ගත්ත මම...තව මොහොතකින් අතීතයට එක් වෙන වාර්ෂික රැස්වීමට සහභාගි වෙන්න හිතාගෙන, අනිත් හැමෝම එක්ක ප්‍රධාන ශාලාවට ඇතුලු වුණා.


කොටුව දුම්රිය ස්ථානය වසර 150 කට පමණ පෙර

Wednesday, July 25, 2012

අදයි ඔබව කලෙකින් පසූ මා දුටූවේ...

අද 2012 ජූලි 20


අද වෑන් එකේ මල්ලි අලුත් කැසට් එකක් දාල. ජෝතිපාලගෙ. ජෝතිපාල මැරිලත් අවුරුදු විසි පහක් පහුවුණේ ගිය 07 වෙනිද නේද කියල මතක් වුණේ එතකොට. 


“…ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැඟුම් නෑ එදා මෙන් නැගෙන්නේ
සඳේ රන් කැලුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ නිල් නෙලුම් නෑ එදා මෙන් පිපෙන්නේ.....”


ජෝතිපාල ගෙ හැඟුම් බර හඬ. 


"...දිනක් නුදුටුවොත් මා...එදා ඔබ හැඬූවේ...
අදයි ඔබව කලෙකින් පසූ මා දුටූවේ..."


ජෝතිපාල මේ කියන්නෙ හැම දේකම තියෙන අනිත්‍ය බව නෙමෙයි ද??
ඉස්සර දවසක් නොදැක හිටියත් අඬන කෙනාව දැන් දකින්නෙත් කලාතුරකින්....එහෙම වුණා කියල දුකකුත් නැති බවනෙ හැඟවෙන්නෙ? ලොකු වෙනසක්.



එක අතකට මොකක්ද මේ 'දකිනවා' කියන්නෙ? 
අපි ඇත්තටම දකින්නෙ කෙනෙක් හෝ දෙයක් ද? 
එහෙම නැතිනම්, ඒ කෙනා හෝ වස්තුව මතට වැටෙන ආලෝක කිරණ පරාවර්තනය වෙලා ඇවිත් අපේ ඇහේ දෘෂ්ටි විතානය මත හැදෙන ප්‍රතිබිම්බ නෙමෙයි ද අපි ඇත්තටම දකින්නෙ?? 


එතකොට, ඒ ක්‍රියාවලිය සිද්ද වෙලා, ඒ ප්‍රතිබිම්බය අපේ මනසින් අපි හඳුනා ගන්නා අවස්ථාව වෙනකොට, අදාළ කෙනා හෝ වස්තුව, නිරන්තර වෙනස්වීමේ සිද්ධාන්තය මත වෙනස් වෙලා ඉවරයි. එතකොට...අපි යම් යම් හැඟීම් පහළ කර ගන්නෙ, ආශා සහගත හැඟීම් හෝ වේදනා සහගත හැඟීම්...එහෙමත් නැතිනම් පිළිකුල් සහගත හෝ ද්වේශ සහගත හැඟීම් පහළ කර ගන්නෙ....ඇත්තටම අපේ මේ මනස තුළ ඇති වෙන ප්‍රතිබිම්බ ගැන මිසක්, සත්‍ය වශයෙන් ඉන්න පුද්ගලයා හෝ පවතින වස්තුව ගැන නෙමෙයි..නේ?

එතකොට ..ඔක්කොම සිද්ධ වෙන්නෙ අපේ මේ හිත ඇතුළෙ පමණයි...අපට කිසිම දාක කිසිම කෙනෙක් හෝ දෙයක් දකින්න බෑ ඒ කෙනාගේ හෝ ඒ වස්තුවේ ප්‍රතිබිම්බය මිසක!! ඉතින්...එහෙම නම්.. අපි පහළ කර ගන්න හැඟීම් ඇති වෙන්නෙත් ඒ ප්‍රතිබිම්බ ගැන ම තමයි...!


මුහුණ බලන කණ්නාඩියක් ජීවිතේට දැකලා නැති ගැමියෙකුට කණ්නාඩියක් හම්බු වෙලා, ලොකු අලකලංචියක් සිද්ද වෙන නාට්‍යයක් කාලෙකට කලින් රූපවාහිනියෙන් දැක්ක..නම 'සක්කාය දිට්ඨි'. කණ්නාඩියෙ ඉන්නෙ තමන්ය කියල නොහඳුනන නිසා වෙන අවුල් ගොඩක් තමයි ඒකෙ නිරූපණය වෙන්නෙ. විශේෂයෙන් ම ඔහුගෙ බිරිඳ..කණ්නාඩියෙන් පෙනෙන්නෙ සැමියගෙ අනියම් පෙම්වතියක් කියල හිතාගෙන..නොයෙක් ආවේග පහළ කර ගන්නව. ඒ රූපෙට බණිනව..දොස් දකිනව..නමුත් ඇත්තෙන්ම වෙන්නෙ..ඒ සියල්ල සිද්ද කර ගන්නෙ තමන්ටමයි! බණින්නෙ, ඇද කුද දකින්නෙ..තමන්ගෙමයි..! 


ඉතින්...අපේ මනසෙ ඇඳෙන ප්‍රතිබිම්බ ගැන අපි පහළ කර ගන්න හැඟීමුත් හරියට මේ වගේමයි නේද??

දේවල් දැකීම නිසා අපිට ඇති වෙන ආවේග...සතුටු සහගත...ද්වේශ සහගත...පිළිකුල් සහගත...වේදනා සහගත..මේ කොයි එකත් ඇති වෙන්නෙ මෙහෙමයි නේද එතකොට??


එහෙම නම්...දකින, නොදකින දේවල් ගැන, තැවීම....දැවීම...සතුටු වීම....ආසා වීම...කිසිම තේරුමක් නැති දෙයක්!


එතකොට...ජෝතිපාලගෙ සින්දුවෙ පෙම්වතී අපරාදෙ ඉස්සර පෙම්වතා නුදුටු දවස්වල අඬල තියෙන්නෙ..!


එහෙම හිතෙනකොට ඇතිවුණු හීන් හිනාවත් එක්ක මම වෑන් එකෙන් බැස්සෙ. වෑන් මල්ලි ඒක 'දැකල' අමුතු විදියට මා දිහා බලනව මම 'දැක්ක'. 
එයත් මනසෙ ඇඳුණු 'ප්‍රතිබිම්බය'ට රැවටෙන්න ඇති!











Thursday, July 19, 2012

හිතට දැනෙන මේ ළතැවුල්....?

මම කිසා ගෝතමී...කවුරුත් මට ආදරේට කියන්නෙ 'කිසා' කියල.


මම ගැන ටිකක් කිව්වොත්, පොඩි දේකින් හිත රිදව ගන්න, ඒ වගේම පොඩි දේකින් සතුටට පත් වෙන කෙනෙක්..ඒක මගෙ දුර්වලකම කියල ගොඩක් වෙලාවට හිතෙනව....ඉතින් මම ලඟකදි ඉඳල උත්සාහ ගන්නෙ ඒකෙන් ගොඩ එන්න.


මගෙ වෑයම දැන් දැන් සාර්ථක වේගන එන බව මටම තේරිලා තියෙනව...ඒකට හේතුව මම දේවල් දිහා බලන විදිය වෙනස් කළ එක බවයි මගෙ වැටහීම. ඉතින්, මම ඒ සියල්ල මගේ මේ දින පොතේ බෙදා ගන්න අදහස් කරනව....ඕනැම කෙනෙකුට පුළුවනි ඒවා අත් හදා බලන්න....සමහර වෙලාවල මම වැරදි වෙන්නත් පුළුවනි...ඒ වැරදි පෙන්නල දෙන්න පුළුවන් නම් ගොඩක් ස්තුතිවන්ත වෙනව.


මගෙ මේ අන්තර්ජාල දිනපොතේ ලියන්න තරම් අලුතෙන් දෙයක් අද සිද්ද වුණේ නෑ...ඒ නිසා පෙරේදා මගේ කඩදාසි දිනපොතේ ලියපු දේ මේකේ පළවෙනි සටහන හැටියට ඇතුළත් කරන්නම්....!
............................................................................................................
අද 2012 ජූලි 17


ගෙදර ඇවිත් මූණ කට හෝදගත්තට පස්සෙ.....ප්ලේන්ටියකුත් හදාගෙන, වෙල අයිනට වෙන්න තියෙන උණ පඳුර යට බංකුවට ගිහින් ඉඳගත්තෙ ඇඟට දැනෙන කෙඩෙත්තු ගතිය මග ඇරෙයි කියල හිතාගෙන.....
ප්ලේන්ටිය උගුරෙන් උගුර පහළට යද්දි....ඇඟට දැණුනු මහන්සි ගතිය ටිකක් අඩුවෙලා ගියත් හිතේ තැලිච්ච පොඩිවෙච්ච ගතිය නම් එහෙමමයි....!


අද දවල් මගෙ ළඟින්ම ඉන්න කෙනෙකුත් මමත් අතර වුනු සිද්දිය මතකෙට ආවෙ නිරායාසයෙන්...(මතකෙට ආව කියන්නත් බෑ...මොකද 'මතකෙට' එන්නෙ 'අමතක වෙච්ච' දේවල් නම් නෙ...!)


...ඒ වචන තාමත් හිත ඇතුළෙ දෝංකාර දෙන්නෙ හිත ඔද්දල් කරමින්.... එයා ඒ විදියට කතා කරයි කියල මම කවදාවත් හිතුවෙ නෑ....
ඒ ඔක්කොම මගේ වැරැද්ද ද?..
මොන තරම් උත්සාහ කත් හිත් වේදනාව අඩු කර ගන්න අමාරුයි...තියුණු පිහියකින් පපුව හාරනව වගේ......


ඇයි අපට මෙහෙම වෙන්නෙ?
කවුරු හරි කියන දෙයකින් අපට මේ තරම් හිත් වේදනා ඇති වෙන්නෙ ඇයි?
මේ හිත් වේදනා වලින් ඈත් වෙන්න අපට ක්‍රමයක් නැද්ද...??


මම ටිකක් සන්සුන්ව හිතන්න උත්සාහ කළා.


දැන් මොකක්ද සිද්ද වුණේ?.... එයා කියපු වචන වලින් මගේ හිත රිදීම.....!!
ඒක ටිකක් විග්‍රහ කළොත්......එයා කියපු වචන..ශබ්ද හැටියට ඇවිත්.... මගේ කණ ඇතුළට ගිහින් ස්නායු කම්පනයක් හේතුකොට ගෙන හැදුණු "ශබ්ද ප්‍රතිබිම්බයක්" මොළය විසින් හඳුනාගත්තා.........


එතකොට.....'ඒ වචන' කියල මම තේරුම් ගත්තෙ මගෙම ඇතුළෙ නිපදවුණු දේවල් ගොඩක් නෙ???
ඊට පස්සෙ... ඒ තේරුම් ගත්ත දේවල් 'අමිහිරි දේ' හැටියට වැටහීමක් මා විසින්ම ඇති කර ගත්තා.......එහෙම වුණෙත්, ඒ වචනත් කියාපු ස්වරයත් 'අමිහිරි' බවට අතීත දැනීමක් මට තිබුණු නිසා...(සිංහල බාසාව නොදන්න, පිට සක්වළ ජීවියෙක් ජීවිතේ පළවෙනි වතාවට ඒවා ඇහුව නම් එයාට මේ හිත් රිදිල්ල ඇතිවෙන එකක් නෑනෙ?)
කොහොමින් හරි, මට ඒ වැටහීම වෙනකොට, එයා ඒ වචන පිට කරල, ඒවා හිස් අවකාශයට එකතු වෙලා ඉවරයි......!(ඕනෑම ශබ්දයක් පවතින්නෙ ඒ ශබ්දය නිකුත් වන ක්ෂණයෙ විතරක් නිසා).  
එතකොට මම විඳෙව්වෙ, ඒ වෙනකොටත් අහෝසි වෙලා ගිය දේවල් ගොඩක්, මගේම හිත තුළ ද්විතීයිකව නිපදවා ගැනීමෙන්!? අයියෝ...මොන මෝඩකමක් ද!!! ඒ 'ද්විතීයික නිෂ්පාදනයට' ඉඩක් තිබ්බෙ නැත්නම්, මේ ළතැවිල්ලෙන් ගත කරපු පැය ගණනම සැහැල්ලුවෙන් ඉන්න තිබුණා...!
එහෙම හිතෙනවත් එක්කම, හිතේ ඇදුම් කකා තිබුණු වේදනාව....හිරු දුටු පිනි වගේ.....කොහේ ගියාද කියල හොයාගන්න බැරිව ගියා...!


තේ කෝප්පෙ මණ්ඩි ටික විසි කරල බංකුවෙන් නැගිටල ගෙට ආවෙ කුරුළු පිහාටුවක් වගේ සැහැල්ලු වුණු හිතකුත් එක්ක.