Saturday, March 2, 2013

මනෝ මන්දීරේ.....

අද 2013 පෙබරවාරි 28

සෑහෙන කාලෙකින් දිනපොත ලියන්න බැරිවුණා. ලියන්න දේවල් බොහොමයක් තිබුණත් එක එක දේවල් නිසා ලියන එක දවසින් දවස කල් ගියා.
අද නම් ලියන්නම ඕන කියලා හිතුණෙ ඊයෙ පෙරේදා දකින්න ලැබුණු විස්තරයකුත්, මිතුරෙක් මූණුපොතේ දාලා තිබුණු ප්‍රකාශයකුත් හින්දයි.

ඒ දෙකෙන්ම කියවුණේ එක් එක් පුද්ගලයන් නොයෙක් දේවලට දක්වන ප්‍රතිචාර ගැනයි.
තමන්ගෙ ප්‍රේමයට ලක්වුණු ගෑනු ළමයා ඒ ප්‍රේමය ප්‍රතික්ෂේප කළ නිසා පිහියෙන් ඇන ඇයව මරා දැමූ තරුණයෙක් ගැන මුලින් කී විස්තරයෙන් කියවුණා. අපි හැමෝම එක එක දේවල් සහ එක එක පුද්ගලයන්ව විනිශ්චය කරන එකත්, ඒවාට දක්වන ප්‍රතිචාර ගැනත් අදහසක් මිතුරාගේ ප්‍රකාශයේ තිබුණා.

මම නම් හිතන්නේ එක එක පුද්ගලයන්ව විතරක් නෙමෙයි, සෑම දෙයක්ම අපි අපේ විනිශ්චයට භාජනය කරනවා. ඉන් පස්සේ ඇති කර ගන්නා උපකල්පන මත ඒවාට ප්‍රතිචාර දක්වනවා. මේ ප්‍රතිචාර දක්වන ආකාරය අනුව අද නොයෙක් ගැටලු ඇතිවෙලා තියෙන හැටිත් ඇස් පනා පිට පේන්න තියෙනවා.

එක උදාහරණයක් තමයි අද බහුලව කතා බහට ලක්වෙලා තියෙන, කොටි සංවිධානයේ නායකයාගේ බාල පුතාගේ මරණය. ඒ දරුවාව මැරුවද, එහෙනම් ඒ මැරුවෙ කවුද, කොහොමද කියන එක ගැන මම කතා කරන්නෙ නෑ...මොකද මම ඒ ගැන දන්නෙ නැති නිසා.  ඒත් ඒ ගැන ඇතිවුණු නොයෙක් කතා බහ නම් හිතේ ඇති කළේ තරමක විපිළිසරයක්. 'ත්‍රස්තවාදියාගේ පුතා ලොකු වෙලා ආවම තාත්තා ගේ පළිය ගන්නවාමයි, ඒ නිසා එයාට එහෙම කළාට කමක් නැහැ' කියන එක බහුලව ප්‍රකාශ වෙලා තියෙනවා දැක්කා.

දැන් මේ උදවිය මෙහෙම කියන්නෙ ඒ දරුවා එක්ක කතාබහ කරල, ඒ දරුවාගේ සිතුම් පැතුම් හොඳින් දැනගෙනද? කවුද දන්නෙ ඒ දරුවා තමන්ගෙ පියාගේ ක්‍රියාවන් පිළිකුල් කළාද, ඒවා හෙළා දැක්කද කියලා? පියාට විරුද්ධව යන දරුවො මොන තරම් ඉන්නවද අද ලෝකෙ? මිනීමරු සිංහයව (එහෙම නැතිනම් 'සිංහ' නම් වූ දාමරිකයාව) මැරුවෙ කවුරුවත් නෙවෙයි, ඔහුගෙම පුතා සිංහබාහු කියලනෙ අපි ඉගෙන ගෙන තියෙන්නෙ.  කොහොමහරි, මේ සේරම ප්‍රතිචාර වලට හේතුව, අපේ මනායතනයෙ ඇතිවෙන අපේම සිතිවිලි (උදා: දරුවා අනාගතයෙ දරුණු ත්‍රස්තවාදියෙක් වෙනවා..), ඇත්ත වශයෙන්ම පවතිනවා කියල අපි වැරදි වැටහීමක් ඇති කරගත්ත නිසා නේද?


ඒ වගෙම, එහෙම කියන උදවිය එක්ක වාද බේද වලට පැටලිලා...තමන්ගෙ හිත රිදව ගත්ත අයත් මම දැක්කා. ඒකත් තේරුමක් නැති වැඩක් නෙ. වාද බේද කියන්නෙ ගැටීමක් ඇති කර ගැනීම. මේ ඉහතින් කියපු සිද්ධිය විතරක් නෙවෙයි, අද වෙනවිට හැම තැනම ජාතිවාදී, ආගම්වාදී කතාබහ...ලැව් ගින්නක් වගේ මේවා පැතිරෙන්නෙ. ඉතිං, හිත නරක්වෙන ජාතිවාදී, ආගම්වාදී කතා මැදට පැනල, හිත දූෂ්‍ය කරගන්නවට වඩා හොඳම දේ තමයි එවැනි දේ වලින් ඈත් වීම. තමා විශ්වාස කරන හොඳ දෙයක් වෙනුවෙන් වුණත් වාද කරන්න යන එකෙන් වැඩිවෙන්නෙ ද්වේශය...ව්‍යාපාදය. තණ්හාව වගෙම ව්‍යාපාදයත් අත හැරිය යුතුමයි නෙ.

අනිත් කාරණේ, මේ සියලුම තර්ක විතර්ක අපේ මනායතනයෙ ඇතිවන දේවල් මිසක සැබැවින් පවතින දේ නෙවෙයි..ඕනෑම සිතක් පවතින්නෙ චිත්තක්ෂණ දහහතයි. ඒ හැම සිතක්ම උත්පාද තිථි භංග කියන අවස්ථා තුනට පත්වෙලා ක්ෂය වෙනවා...නිරුද්ධ වෙනවා... ඉතිං මේ උදවිය කරන්නෙ, එහෙම අතීතයේ හටගෙන, අතීතයේදිම ක්ෂය වෙලා ගිය....නිරුද්ධ වුණු..., තව දුරටත් නොපවතින, දෙයක් අල්ලාගෙන ගැටුමට යනවා...එහෙම ගිහින් සංසාරය දික්වෙන විදියට කර්ම රැස්කර ගන්නවා. 

මොන තරම් මායාවකද අපි පැටලිලා ඉන්නෙ..ඒ මායාව දැන හැඳින ගෙන එයින් මිදෙනවා වෙනුවට අපි කරන්නෙ ඒ මායාවේ තව තවත් ගිලෙන එක. 


හොඳින් හිතුවොත්, අපිට පැහැදිලි වෙනව, අතීතයේ හටගත් දේ, අතීතයේම නිරුද්ධ වෙනව...ඊට පස්සෙ තියෙන්නෙ හිතෙන් හදාගත්ත දෙයක්..තරහ, ගැටීම, ඇලීම..මේ කොයි දේත් එහෙමයි...ඉතින් හිතෙන් හදාගත්ත, ඒ වුණත් සැබැවින් නොපවතින දේ දුකක් නෙමෙයි ද??

ඉතින් අපට ඒ නිසා කරන්න තියෙන්නෙ වෙන මොනවත් නෙමෙයි...දුක දුක හැටියට දැකල, එහි නොඇලී සිටීමෙන්, දුකත් නිරුද්ධ කරගැනීමයි. 

එහෙම නේද?

6 comments:

  1. කතාව නම් සහතික ඇත්ත......... එත් කවදා හරියට තේරුම් ගනීවිද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේවා. කවදාහරි තේරුම් ගන්නා තුරු, තේරුම් කර දීමේ උත්සාහය අත නොහැර ඉඳිමු.

      Delete
  2. ටිකක් වෙලයි -දොරේ ගලයි

    කියලනේ කියන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක නම් තේරුණේ නෑ?

      Delete
  3. ඇත්ත කිසා. අපි ආවේගයෙන් ඉන්න වෙලාවට ආවේගයක් ආපු වෙලාවට කියන්නේ කරන්නේ මොකද්ද කියලා අපිම දන්නේ නෑ. ඒ වෙලාවේ කියපු කරපු දේවල් නිසා සිදු වෙච්චි හානිය ගැන තේරෙන්නේ ඒ සිදුවීම සිදුවෙලා ටික දවසක් ගිහින් ඒ සිදුවීම දිහා ආයේ හැරිලා බලද්දී.

    එතකොට කරත්තේ ගිහින්. වෙන්න ඕන දේ වෙලා ඉවරයි.

    මේ ලිපිය කියෙව්වට පස්සේ ඔයා ඒ කියපු බාලචන්ද්‍රන්ගේ සිදුවීමේ දී මම හැසිරුනු විදිහයි ඒකෙන් මට වෙච්චි අලකලන්චියි ගැන හිතුවාම ආයේ නම් ආවේගයක් ආවම ක්‍රියා කරන්න ඕන හැටි ගැන හොඳ පාඩමක් ඉගෙන ගත්තා.

    (ආපු ආවේගෙට ඒ ළමයව මැරුව නම් ඒක හොඳයි කියපු අයව මගේ මූනු පොතෙන් පවා ඉවත් කලා මේ වගේ හිතන අමනුස්ස ගති තියෙන උන් යාලුවෝ නොවුනට කමක් නෑ කියලා හිතලා . . ඒත් පස්සේ තමයි තේරුනේ ඒ අයත් එහෙම කියන්න කරන්න ඇත්තේ මම වගේම ආවේගයක් හිතේ තිබුනු නිසා වෙන්න ඇති කියන දේ.)

    මේ ලිපිය නිසා පාඩමක් ඉගෙන ගත්තා කිව්වනේ. ඇත්තෙන්ම ඉගෙන ගත්තා. කාර්යාලයේ වැඩකදී මම යවපු ලියුමකට ගොන් උත්තර දුන්නු කෙනෙක්ට ඒක දැකලා මල පැනලා ඒ වෙලාවේම උත්තරයක් ලියන්න හදද්දී මතක් උනා ආවේගයක් තියෙන වෙලාවට එක පාර දෙයක් කියන්න කරන්න එපා කියලා ඉගෙන ගත්තු පාඩම.

    ඒකෙන් උනේ ප්‍රශ්නේ විසඳගන්න පුලුවන් හොඳම විදිහ ගැන කල්පනා කරලා අර ගොන් ප්‍රශ්න වලට උත්තර දෙන්න පුලුවන් උනු එක. ආවේගයෙන් උත්තර දුන්නා නම් ඒ උත්තර නිසා තව තව ප්‍රෂෙන දික් වෙන එක තමා වෙන්නේ.

    ඔන්න ඔය කරුනු නිසයි මම මූනු පොතේ මේ බ්ලොග් එක ශෙයාර් කලේ මෙන්න මෙහම කියලා . . "

    "මේ බ්ලොග් එකේ පෝස්ට් කියවද්දී මට දැනෙන්නේ පිච්චුනු තුවාලෙක කෝමාරිකා ගානකොට දැනෙන සනීපේ . . .
    හිතේ ආවේගයක් තරහක් ආපු වෙලාවට එකේ ඉඳන් දහයට ගනන් කරන්න ඕන වගේ මින් පස්සේ කරන්න ඕන මේ බ්ලොග් එක කියවන එක . . . !!"

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝසයි දුකා. අහන්නත් සතුටුයි. හැමෝවම නැතත් වැඩි දෙනෙකුව ඔය විදියට හිතන්න පුරුදු කරන්න පුළුවන් නම්, මගේ ව්‍යායාමය සාර්ථකයි.

      Delete