මම ගැන ටිකක් කිව්වොත්, පොඩි දේකින් හිත රිදව ගන්න, ඒ වගේම පොඩි දේකින් සතුටට පත් වෙන කෙනෙක්..ඒක මගෙ දුර්වලකම කියල ගොඩක් වෙලාවට හිතෙනව....ඉතින් මම ලඟකදි ඉඳල උත්සාහ ගන්නෙ ඒකෙන් ගොඩ එන්න.
මගෙ වෑයම දැන් දැන් සාර්ථක වේගන එන බව මටම තේරිලා තියෙනව...ඒකට හේතුව මම දේවල් දිහා බලන විදිය වෙනස් කළ එක බවයි මගෙ වැටහීම. ඉතින්, මම ඒ සියල්ල මගේ මේ දින පොතේ බෙදා ගන්න අදහස් කරනව....ඕනැම කෙනෙකුට පුළුවනි ඒවා අත් හදා බලන්න....සමහර වෙලාවල මම වැරදි වෙන්නත් පුළුවනි...ඒ වැරදි පෙන්නල දෙන්න පුළුවන් නම් ගොඩක් ස්තුතිවන්ත වෙනව.
මගෙ මේ අන්තර්ජාල දිනපොතේ ලියන්න තරම් අලුතෙන් දෙයක් අද සිද්ද වුණේ නෑ...ඒ නිසා පෙරේදා මගේ කඩදාසි දිනපොතේ ලියපු දේ මේකේ පළවෙනි සටහන හැටියට ඇතුළත් කරන්නම්....!
............................................................................................................
අද 2012 ජූලි 17
ගෙදර ඇවිත් මූණ කට හෝදගත්තට පස්සෙ.....ප්ලේන්ටියකුත් හදාගෙන, වෙල අයිනට වෙන්න තියෙන උණ පඳුර යට බංකුවට ගිහින් ඉඳගත්තෙ ඇඟට දැනෙන කෙඩෙත්තු ගතිය මග ඇරෙයි කියල හිතාගෙන.....
ප්ලේන්ටිය උගුරෙන් උගුර පහළට යද්දි....ඇඟට දැණුනු මහන්සි ගතිය ටිකක් අඩුවෙලා ගියත් හිතේ තැලිච්ච පොඩිවෙච්ච ගතිය නම් එහෙමමයි....!
අද දවල් මගෙ ළඟින්ම ඉන්න කෙනෙකුත් මමත් අතර වුනු සිද්දිය මතකෙට ආවෙ නිරායාසයෙන්...(මතකෙට ආව කියන්නත් බෑ...මොකද 'මතකෙට' එන්නෙ 'අමතක වෙච්ච' දේවල් නම් නෙ...!)
...ඒ වචන තාමත් හිත ඇතුළෙ දෝංකාර දෙන්නෙ හිත ඔද්දල් කරමින්.... එයා ඒ විදියට කතා කරයි කියල මම කවදාවත් හිතුවෙ නෑ....
ඒ ඔක්කොම මගේ වැරැද්ද ද?..
මොන තරම් උත්සාහ කළත් හිත් වේදනාව අඩු කර ගන්න අමාරුයි...තියුණු පිහියකින් පපුව හාරනව වගේ......
ඇයි අපට මෙහෙම වෙන්නෙ?
කවුරු හරි කියන දෙයකින් අපට මේ තරම් හිත් වේදනා ඇති වෙන්නෙ ඇයි?
මේ හිත් වේදනා වලින් ඈත් වෙන්න අපට ක්රමයක් නැද්ද...??
මම ටිකක් සන්සුන්ව හිතන්න උත්සාහ කළා.
දැන් මොකක්ද සිද්ද වුණේ?.... එයා කියපු වචන වලින් මගේ හිත රිදීම.....!!
ඒක ටිකක් විග්රහ කළොත්......එයා කියපු වචන..ශබ්ද හැටියට ඇවිත්.... මගේ කණ ඇතුළට ගිහින් ස්නායු කම්පනයක් හේතුකොට ගෙන හැදුණු "ශබ්ද ප්රතිබිම්බයක්" මොළය විසින් හඳුනාගත්තා.........
එතකොට.....'ඒ වචන' කියල මම තේරුම් ගත්තෙ මගෙම ඇතුළෙ නිපදවුණු දේවල් ගොඩක් නෙ???
ඊට පස්සෙ... ඒ තේරුම් ගත්ත දේවල් 'අමිහිරි දේ' හැටියට වැටහීමක් මා විසින්ම ඇති කර ගත්තා.......එහෙම වුණෙත්, ඒ වචනත් කියාපු ස්වරයත් 'අමිහිරි' බවට අතීත දැනීමක් මට තිබුණු නිසා...(සිංහල බාසාව නොදන්න, පිට සක්වළ ජීවියෙක් ජීවිතේ පළවෙනි වතාවට ඒවා ඇහුව නම් එයාට මේ හිත් රිදිල්ල ඇතිවෙන එකක් නෑනෙ?)
කොහොමින් හරි, මට ඒ වැටහීම වෙනකොට, එයා ඒ වචන පිට කරල, ඒවා හිස් අවකාශයට එකතු වෙලා ඉවරයි......!(ඕනෑම ශබ්දයක් පවතින්නෙ ඒ ශබ්දය නිකුත් වන ක්ෂණයෙ විතරක් නිසා).
එතකොට මම විඳෙව්වෙ, ඒ වෙනකොටත් අහෝසි වෙලා ගිය දේවල් ගොඩක්, මගේම හිත තුළ ද්විතීයිකව නිපදවා ගැනීමෙන්!? අයියෝ...මොන මෝඩකමක් ද!!! ඒ 'ද්විතීයික නිෂ්පාදනයට' ඉඩක් තිබ්බෙ නැත්නම්, මේ ළතැවිල්ලෙන් ගත කරපු පැය ගණනම සැහැල්ලුවෙන් ඉන්න තිබුණා...!
එහෙම හිතෙනවත් එක්කම, හිතේ ඇදුම් කකා තිබුණු වේදනාව....හිරු දුටු පිනි වගේ.....කොහේ ගියාද කියල හොයාගන්න බැරිව ගියා...!
තේ කෝප්පෙ මණ්ඩි ටික විසි කරල බංකුවෙන් නැගිටල ගෙට ආවෙ කුරුළු පිහාටුවක් වගේ සැහැල්ලු වුණු හිතකුත් එක්ක.
ඔබේ දර්ශනය හරි අගෙයි කිසා. ඒ වගේ ම සුබ පැතුම්. දිගටම ලියන්න එතකොට ඔබේ ලස්සන සිතිවිලි අපිටත් අත්විඳින්න පුළුවන්! සිංහලෙන් තියෙන බ්ලොග් කියවන රොබෝලා නෑ කිසා.ඒනිසා ක්මෙන්ටුවක් දාද්දි ඉඩ අහුරන (වර්ඩ් වෙරිෆිකේෂන් කියන්නේ මේ වගේ දේකට මං හිතන්නේ)බැරියර් අයින් කළා නම් අගෙයි.
ReplyDeleteදිරි ගැන්වීමට ස්තුතියි පියුමි. ඒ තාක්ෂණික අවහිරයන් අයින් කරන්නම්.
Deleteඔයා ගොඩක් හොඳයි
ReplyDeleteහොඳ ළමයෙක්
ස්තුතියි යාළුවා....!
Delete